සුබ පැතුම්

 

ගරු දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ පණිවිඩය.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන අංශය විසින් සම්පාදනය කරන "බෝවිටියා මල් යාය" අන්තර්ජාල සඟරාව සයිබර් අවකාශය භාවිතය තුළින්  නවමු අධ්‍යාපන ප්‍රවේශයකට එළඹෙන අතර, එවැනි සඟරාවක් දකුණු පළාත තුළින් ප්‍රථම වරට එළි දැක්වීමට හැකි වීම, දකුණේ දරුවන් ලද භාග්‍යයක් ලෙස දකිමි.

කොවිඩ් 19 වසංගතය නිසා සියලු පාසල් වසා දමා ඇති තත්ත්වයක් තුළ, ප්‍රාථමික අංශයේ දරුවන්ට ඇතිවිය හැකි මානසික පීඩාව හා ආතතිය කළමණාකරණය කර ගනිමින්, සමබර පෞරුෂ සංවර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දීමට "බෝවිටියා මල් යාය "ට හැකිවනු ඇතැයි විශ්වාස කරන අතර ඒ සඳහා මාගේ සුභ පැතුම් එක්කරමි.

ආචාර්ය විලී ගමගේ ,

දකුණු පළාත් ආණ්ඩුකාරවර.



ගරු දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමාගේ පණිවිඩය.

දකුණු පළාතේ දූ දරුවන්ගේ නිර්මාණ කෞෂල්‍යය සංවර්ධනය කරමින්, සෑම දරුවෙකුට ම සම අවස්ථාවන් ලබා දෙමින්, කාලීන අවශ්‍යතාවය අනුව එළි දක්වන "බෝවිටියා මල් යාය " අන්තර්ජාල සඟරාව, පිරිපුන් පෞරුෂයකින් යුතු අනාගත පරපුරක් බිහි කිරීම සඳහා දායක වනු නිසැක ය.

පවතින අභියෝගාත්මක වාතාවරණය තුළ මෙබඳු නව ප්‍රවේශයකට එළඹීමට දකුණු පළාතට හැකි වීම ප්‍රීතියට කරුණකි.

"බෝවිටියා මල් යාය"ට එක් වන දයාබර දරුවනි, හෙට ලොව දිනන්නට දිරිය, ශක්තිය ලැබේවා! යි සුභාශිංසනය කරමි.

රංජිත් යාපා ,

දකුණු පළාත් අධ්‍යාපන ලේකම්.


 ගරු දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය.

 දකුණුලක මල් කැකුළු පුබුදුවන්නට වෙර දරන සැමට තුති පුදමි.   අභිමානවත් දරු පරපුරක් බිහි කිරීමට නවමු මං පෙත් එළි කරමින්,   ඉදිරියට ම යමු.







නිමල් දිසානායක,
දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ.

දකුණු පළාත් ප්‍රාථමික අධ්‍යාපන විෂය අධ්‍යක්ෂතුමියගේ පණිවිඩය.

ඕනෑම දරුවෙක් අනර්ඝ මාණික්‍යයකි. අවශ්‍ය වන්නේ ඔපමට්ටම් කර ප්‍රභාශ්වර ව දිදුලන්නට අවස්ථාවන් සම්පාදනය යි.සොබාදහමට ආදරය කරන, සොයන, බලන, විමසන, නිර්මාණශීලී දරු පරපුරක් බිහි කිරීමේ සොඳුරු සිහිනය කිසියම් දිනෙක සැබෑවක් වනු පිණිස, දකුණු පළාතේ ප්‍රාථමික අංශයෙහි දූ දරුවන්ගේ නිසඟ ශක්තීන්  හා හැකියාවන් පුබුදුවාලීම පිණිස, "බෝවිටියා මල් යාය" ඔබ වෙත සෙනෙහසින් තිළිණ කරන්නෙමු .

උතුම් පුරුෂාර්ථයන් කෙමෙන් වියැකී යන, හරසුන් තරඟකාරී සමාජයක අතරමං වූ අපටඅන් කවරදාකටත් වඩා  නැණගුණ පිරි සංවේදී දරු පරපුරක අවශ්‍යතාවය දැනේ.

බෝවිටියා මල් යායෙහි පිපෙන මල් කැකුළුවල රුව, ගුණ, සුවඳින්  ලක් මව සැනසෙන, සැරසෙන යුගයක් උදාවන තුරු අපි දෑස් දල්වා බලා සිටින්නෙමු.

ප්‍රදීපිකා සදමාලි පතිරණ ,

දකුණු පළාත් ප්‍රාථමික අධ්‍යාපන විෂය අධ්‍යක්ෂ,


2 comments:

  1. අතිවිශිෂ්ටයි.මටද ඔබෙන් ලද හැකි උපදෙස් හා ආදර්ශ බොහොමයකි.දීර්ඝ ගමනකට සුබ පතමි.

    ReplyDelete
  2. ඔබ වැනි නිහතමානී නිලධාරීන් අධ්‍යාපන ක්ෂෙත්‍රයට අභිමානයකි. ස්තුතියි.

    ReplyDelete